සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ඔබේ ජීවිතය දිනවන අපේ නියමුවෝ .....

01-July-2019

කුරුණෑගල දිස්ති‍්‍රක් බෙදා හැරීමේ අලෙවි නියෝජිත අචලා නානායක්කාර කියන්නේ පිය උරුමයෙන් ලොතරැයි ව්‍යාපාරයට අවතීරණ වූණ ලොතරැයි ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින බෙදා හැරීමේ අලෙවි නියෝජිතවරියක්.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඈ වෙත ගෙන ආ සාර්ථකත්වය මතක් කළ ඇය ලොතරැයි ව්‍යාපාරයේ දූෂ්කරම ඉම පසුකර තමන් වෙනුවෙන් පැහැදිලි මාවත තනා දුන්නේ දැනට ජීවතුන් අතර නොමැති තම ආදරණීය පියා බව පැවසීය. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පළමු අලෙවි නියෝජිතවරයා වන එන්.වී.අමරසේන මහතා ඇගේ පියාණන්ය. පොල්ලේ ටිකට් ගසා ගෙන පයින්ම ගොස් අලෙවි කර ලොතරැයි ව්‍යාපාරය ආරම්භ කළ තම පියාණන් ලොතරැයි විකුණා නිවසට පැමිණි පසු ඔහුගේ දෙපයින් ලේ විදින අයුරු තමන් දැක ඇති බව ඈ සදහන් කළාය.

තම පියාට ශක්තියක් වෙමින් නොයෙක් ආකාරයෙන්  උදව් උපකාර කළ ඇය ලොතරැයි ව්‍යාපාරයට එක්වන්නේ 1987  වර්ෂයේදීය. තරුණියක් ලෙස තම පියාගේ ව්‍යාපාරයට අතගැසූ ඇය ව්‍යාපාර ලෝකයේ හමුවන නොයෙක් බාධක අභියෝග වලට මුහුණ දෙමින් ඉදිරියට යන්නේ කාන්තාවන්ට එතරම් සුබ නැති යැයි ඇතැමුන් විශ්වාස කරන ව්‍යාපාරික ලෝකය කාන්තාවන්ටද ජය ගත හැකි බව ප‍්‍රදර්ශනය කරමිනි.

ලොතරැයි කේෂත‍්‍රයේ සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් බවට ඈ පත්වූයේ  ළද බොළද කාන්තාවක් ලෙස නොව  පිරිමියකු ලෙස මේ ව්‍යාපාරය තුළ කටයුතු කළ නිසාවෙන් බව ඈ සදහන් කළාය.

අදටත් සෑම ටිකට් කවුන්ටරයක් වෙතම ගොස් පරීක්ෂා කිරීමත් රෑ දවල් නොබලා ව්‍යාපාරය වෙනුවෙන් කැපවීමත් ඇය අනිවාර්යයෙන්ම සිදුකරන්නකි.අලෙවි නියෝජිත‍යෙක්ගේ හෝ අලෙවි සහයකවරයෙක්ගේ ගැටලුවකදී ඔවුන්ගේ නිවසටම ගොස් එම ගැටලු නිරාකරණය කරන බවත් ඇය පැවසීය.

අද තමන් කිසිදු අඩුපාඩුවක් නැති සාර්ථක ජීවිතයක් ගත කරන බවත් ඒ අභිමානය හිමිවූයේ ලොතරැයි ව්‍යාපාරයෙන් බවත් කිසිදු ලැජ්ජාවකින් තොරව සැමදා සිහිපත් කරන බව ඇය අවසන් වශයෙන් සදහන් කළාය.  

ඇය සේම ස්ව උත්සාහයෙන් හා මනා වූ ව්‍යාපාරික ඥාණයකින් ලොතරැයි ව්‍යාපාරයේ ඉම ජය ගත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගාල්ල දිස්ති‍්‍රක් බෙදා හැරීමේ අලෙවි නියෝජිත වී.සී ජයරත්න මහතාද වර්තමාන ලොතරැයි කේෂත‍්‍රයටත් තරුණ පරපුරටත් පරමාදර්ශී වූ ව්‍යාපාරික චරිතයකි.

1984 වර්ෂයේ ලොතරැයි ව්‍යාපාරයට අලෙවි නියෝජිතවරයෙක් ලෙස එකතු වූ ජයරත්න මහතා කෙටි කාලයක් ඇතුළත සිදුකල දැවැන්ත අලෙවි වර්ධනයත් සමගින් 1991 දී ගාල්ල දිස්ති‍්‍රක් බෙදා හැරීමේ අලෙවි නියෝජිතවරයා බවට පත් වන්නේය.

අද දැවැන්ත ව්‍යාපාර කිහිපයකම හිමිකරුවෙක් වන ඔහුගේ වාසනාවේ තිඹිරි ගෙය ලොතරැයි ව්‍යාපාරයයි. නිහතමානීව කතා බහට එක්වූ ජයරත්න මහතා සතු ව්‍යාපාරික ඥාණයත් ඔහුගේ පැහැදිලි දැක්මත් මා සිත් ගත්තේය. දැනට ලොතරැයි ව්‍යාපාරයේ නිම් වළලු සොයා යන්නන්ටත් හෙට දිනයේ මේ ව්‍යාපාරය සමගින් එක්වන්නට අපේක්ෂාවෙන් සිටින අයටත් එක ලෙස වටිනා ඔවදන් ඔහුගේ සංවාද පුරාම මතුවිය.

ඔහු මතු කලාවූ ප‍්‍රධානතම ව්‍යාපාරික ධර්මතාවය මුල්‍ය විනයයි. ඒ වෙනුවෙන් සිදු කළ යුතු වැදගත්ම දේ ආයෝජනය බව ඔහු පෙන්වා දුන්නේය. එය අපේ දියුණුවට ඉනිමගක් වන්නාසේම නොසිතූ මොහොතක සිදුවන කඩාවැටීමකදී නැගී සිටින්නට ශක්තියක් වන බවත් සදහන් කළේය. ලොතරැයියෙන් ආරම්භ කළාවූ ව්‍යාපාරික ගමන තවත් ව්‍යාපාරයන් ගණනාවක හිමිකාරීත්වයක් ඔහුට ගෙන ආවේත් 2014 වසරේ සිදුවූ සුනාමි ව්‍යවසනයෙන් බොහෝ දේ අහිමි වූ තැන නැවත නැගී සිටින්නට වාරුවක් වූයේත් මනා ආයෝජනයන්ට පින් සිදුවන්නට බව ඔහු සදහන් කළේය.  ආදායමත් වියදමත් අතර පවත්වාගෙන ගිය එකී මූල්‍ය විනය ඔහුගේ දියුණුවේ රහස බව ඔහු ස්ථිර කර සිටියේය.

ලොතරැයි ව්‍යාපාරට සම්බන්ධ වීම තම ජීවිතයේ හැරවුම් ලක්ෂය බව පෙන්වා දුන් ජයරත්න මහතා සදහන් කළේ රාමුවකට කොටුවූ එකම රාජකාරියක් තුළින් ළගා වන්නේ එක් ආදායමක් පමණක් බවයි.

දිනෙන් දින ඉදිරියට යන ලෝකයේ නව ව්‍යාපාරික ක‍්‍රමවේදයන් හදුනා ගෙන යාවත්කාලීන වීමේ හැකියාව ඇති නම් ලොතරැයි ව්‍යාපාරයේදී එය අමතර ආශිර්වාදයක් බවද ඔහු සදහන් කළේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට එදා මෙන්ම අදත් ශක්තියක් වන මෙම දෙපළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිබද ආදරය දිනූ දෙදෙනෙක් වන්නා සේම ඔවුන්ගේ පරමාදර්ශීත්වය කිය සිටින්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් ඔබටත් ජීවිතය දිනිය හැකි අපූරුවයි.



විශේෂාංග පුවත්