සංවර්ධන ලොතරැයි මණ්ඩලය

අපි ගැන

දැක්ම

"ශ්‍රිලංකාවේ ප්‍රමුකතම වාසනා උත්පාදක පොදු ඒකකය."

මෙහෙවර

"ඉහළපෙලේ තාක්ෂණය උපයෝගී කරගනිමින් විශ්වාසනීයබාවය ද රකිමින්, සියලුම අවස්ථාවල දී පරදු බරකරුවන්ගේ අපේක්ෂාවන් විශිෂ්ට අන්දමින් ඉටුකරමින් නව නිර්මානාත්මක හා ආකර්ෂණීය ලොතරැයි පැවැත්වීම ."

වටිනාකම්

අවංක භාවය  - අප ඉදිරිපත් කරන ලොතරැයි හා අප ව්‍යාපාරික කටයුතු වල යෙදෙන ආකාරය සාධාරණයි අවංකයි විශ්වසනීයයි.
ධනාත්මක ආකල්ප  - ලොතරැයි ව්‍යාපාරයේ යෙදී සිටින අතරතුර  මුහුණ පාන්නට සිදුවන සෑම අභියෝගයක් සදහාම සංවර්ධන ලොතරැයි මණ්ඩල සේවකයන්ට ශුභවාදී ප්‍රවිශ්ටයක් ඇත.
ප්‍රථිපල කරා නැඹුරුව  - සංවර්ධන ලොතරැයි මණ්ඩල සේවකයෝ සිය කාර්යයන් ඉටු කිරීමේදී විශ්වාසයකින් යුතුව කටයුතු කරන අතර නියමිත ඉලක්කයන් කාර්යක්ෂම ආකාරයෙන් සපුරාලීම කෙරෙහි යොමුවී සිටිති.
නවාංග - ව්‍යාපාරික කටයුතු වැඩිදියුණු කරන අදහස් සෙවීමටත්, වෙළද පොලෙහි සිදුවන උපායමාර්ගික හා තරගකාරී  වලදී තීරණ ගෙන ඉක්මනින් ක්‍රියා කිරීමටත් සංවර්ධන ලොතරැයි මණ්ඩල සේවකයන්ට  දිරි දෙනු ලැබේ..
කණ්ඩායම් වැඩ  - විවෘත  භාවය, අන්‍යොන්‍ය ගරු කිරීම හා පුද්ගල සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතරම සංවිධානමය ඉලක්ක සපුරාලීම සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩල සේවකයෝ එකමුතුව කටයුතු කරති..
විශිෂ්ටත්වය කරා නැඹුරු වීම - සංවර්ධන ලොතරැයි මණ්ඩල සේවකයෝ අඛණ්ඩවම සිය සේවාවන්හි ගුණාත්මක භාවය උපරිම තත්වයට පත් කිරීමට ප්‍රයත්න දරති.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය උත්තරීතර අරමුණු පෙරදැරිව එළි දකින්නේ 1983 වර්ෂයේ ජනවාරි 19 වනදාය. එතැන්  සිට අද දක්වා පසුකලාවූ 40 වසරකට වැඩි කාලය ඇතුළත පැමිණි සංධිස්ථානයන් සේම බිහිකළාවූ ජයග‍්‍රාහකයින් අපමණය. මෙරට ජනතාව ලොතරැයියක් වෙනුවෙන් වියදම් කරන්නාවූ රුපියල් විස්ස නැවතත් ඔවුන් අතරටම ගෙනයන්නාවූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරට ජන ජීවිත එක් රැයින් වාසනාවන්ත කරන අතරම රට වෙනුවෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපනික මෙහෙවරයන්හි යෙදෙන්නේය.

ජනාධිපති අරමුදල සහ මහපොළ භාරකාර අරමුදල මගින් රුපියල් මිලියන 2.2 බැගින් මුදල් ආයෝජනය කර මෙම මණ්ඩලය ආරම්භ කරන්නේ ජනාධිපති අරමුදලේ මූල්‍ය පදනම ශක්තිමත් කිරීමේ අරමුණ මුදුන්පමුණුවා ගැනීමේ පරම අපේක්ෂාවෙනි. ඒ අනුව ජනාධිපති අරමුදල වෙනුවෙන් තම ලාභාංශයන් පරිත්‍යාග කරන එකම රාජ්‍ය ආයතන සංවර්ධන ලොතරැයි මණ්ඩලය වන්නේය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආරම්භයේදී සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය  ලෙස හදුන්වනු ලැබූ අතර අනතුරැව  සංවර්ධන ලොතරැයි භාරය බවට 1993 දී පත්කරන ලදී.1997 අගෝස්තු 12 වැනිදා 1997 අංක 20 දරණ සංවර්ධන ලොතරැයි මණ්ඩල පනත මගින් මෙම භාරය සංවර්ධන ලොතරැයි මණ්ඩලය බවට පරිවර්තනය කරන ලදී.

1983 වර්ෂයේදී ක්ෂණික ලොතරැයි පත් හදුන්වා දෙමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි වෙළද පොළට පිවිසුණි. අනතුරැව 1987 දී “ශනිදා වාසනා” ටිකට් පත හදුන්වාදීම හරහා ලොතරැයි වෙළද පොළට රූපවහිනි ලොතරැයි දිනුම් ඇදීම හදුන්වා දුන් ප‍්‍රථම ලොතරැයි ව්‍යාපාරය බවට පත් විය. මුල දී ශනිදා වාසනා දිනුම් ඇදීම සෙනසුරාදා දින පමණක් පැවැත්වුණු අතර පසුව එය බදාදා සහ සදුදා යන දිනයන්හිද සිදු කරන ලදී. වර්තමානයෙහි "ශනිදා" නමින් වෙළදපලට නිකුත් කරනු ලබන මෙය සතියේ දින හතේම දිනුම් අදිනු ලැබේ. 

“වාසනා චක‍්‍රය” රුපවාහිනී දිනුම් ඇදීම 1998 ජනවාරි 25 වැනිදා ඇරඹුණු අතර එය සෑම සතියකම පැවැත්විණි. ත්‍යාග හිමි නොවු ක්ෂණික ලොතරැයිපත් සදහා දෙවැනි දිනුම් ඇදීමක් සිදු කර ජනතාවට ත්‍යාග ලබා දිම මෙමගින් සිදු වු අතර මෙය එවකට ඉහල ජනප‍්‍රියතාවක් හිමිකරගත් වැඩසටහනක් විය.

දෙවනුව “සංවර්ධන වාසනාව” ලොතරැයිය (වර්තමානයේ ලග්න වාසනාව ලෙස හදුන්වන ලොතරැයිය ) වෙළදපලට හදුන්වා දෙමින් දෙවැනි රූපවහිනි  දිනුම් ඇදීම 1998 ඔක්තෝබර් 9 වැනි දා සිදුකරන ලදී. අගහරුවදා සහ සිකුරාදා දිනයන්හි මෙම දිනුම් ඇදීම පැවැත්වූ අතර ජයග‍්‍රාහකයන් හදුනා ගැනීම සදහා අංක සමග ,ලග්න සංකේත හදුන්වාදීම මෙම ටිකට් පතෙහි විශේෂිත ලක්ෂණයක් විය. එහි ජනප‍්‍රියතාවය හේතුවෙන් එම දිනුම් ඇදීම බදාදා සහ ඉරිදා දින වලටද ව්‍යාප්ත කරන ලදී.

තෙවනුව සදුදා සහ බ‍්‍රහස්පතින්දා යන දිනයන්හි දිනුම් අදින “ජයෝදා” ලොතරැයිය හදුන්වාදීම  2004 ජනවාරි 26 වැනිදා සිදුවිය. අද වන විට ඉහල ජනප‍්‍රියතාවයක් දිනා ඇති ජයෝදා ලොතරැයිය 2018 වසරේ සිට ආරම්භක ජයමල්ල කෝටි 2ක් දක්වා වැඩි කර නව මුහුණුවරකින් වෙළඳපලට ඉදිරිපත් කර ඇත.

2011 නොවැම්බර් 8 වැනිදා සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවත් ජය ටැඹක් කර ලගා විය. ඒ රුපියල් මිලියන 10 ක ආරම්භක සුපිරි ත්‍යාගයක් සහිත “නියත ජය” ලොතරැයිපත වෙළද පොලට හදුන්වා දෙමිනි. අද වන විට අගහරුවද හා සිකුරාදා දිනයන්හි දී එහි දිනුම් ඇදීම සිදුකරනු ලැබේ.

2017 අපේ‍්‍රල් මස ලොතරැයි වෙළඳපලේ ඉතාමත් සුවිශේෂි වෙනසක් සිදුකරමින් එවකට ලොතරැයි වෙළඳපලේ අති දැවැන්තම ජයමල්ල ලෙස කෝටි 7 යි ලක්ෂ 50 ක් ප‍්‍රථම ත්‍යාගය ලබාදෙමින් “කෝටිපති ශනිදා” වෙළඳපලට නිකුත් කළ අතර එය මේ වනවිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජනප‍්‍රියතම ලොතරැයියක් ලෙස ජනතාව අතරට ගොස් ඇත.

එයින්ද නොනැවතී ඉදිරියටම ගිය සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි වෙළඳපලේ සුවිශේෂි පෙරලියක් සිදු කරමින් 2017 වර්ෂයේ අගෝස්තු මස  ප‍්‍රථම වරට දිනපතා දිනුම් අදින ලොතරැයියක් ලෙස කෝටි 5 ක අති දැවැන්ත ජයමල්ලක් සමඟින් අද කෝටිපති ලොතරැයිය වෙළඳපලට හදුන්වා දුණි. අද වන විට කෝටිපතියන් දහතුන් දෙනෙක් බිහිකරන්නට සමත්ව ඇති අද කෝටිපති වර්තමානයේ නොමද ජනතා ආකර්ෂණය දිනා ගත් ලොතරැයියකි.

කාලානුරූපීව සංවර්ධන ලොතරැයි පවුලට එක්වූ දසලක්ෂපති, ගැලැක්සි ස්ටාර්, සංවර්ධන වාසනාව යන දිනුම් අදින ලොතරැයිපත්ද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි අතරට එක්වූ අතර වර්තමානය වන විට එම ලොතරැයිපත් ද්විත්වය නවතා දමා ඇත.

පියවරින් පියවර ඉදිරියට යමින් වර්තමානය වන විට සාර්ථක සංධිස්ථානයකට පැමිණ ඇති සංවර්ධන ලොතරැයි මණ්ඩලය කාලානුරූපීව සාමාජීය ආර්ථික හා තාක්ෂණික ප‍්‍රවණතාවයන්ට අනුව හැඩගැසුණු ලොතරැයියකි. ආරම්භයේ පටන්ම ලොතරැයිපත් මුද්‍රණය කිරීම සඳහාත්, මහජනයා වෙත කරන සියලූම ත්‍යාග මුදල් ප‍්‍රදානය සඳහාත් සංවර්ධන ලොතරැයිය උපයෝගී කරගෙන ඇත්තේ නවතම තාක්ෂණයයි. වර්තමානය වන විට තාක්ෂණය සමගින් එක්ව ජාත්‍යන්තර ලොතරැයි ව්‍යාපාරයේ පූර්වාදර්ශයන් පවා උකහා ගනිමින් තවදුරටත් ලොතරැයි ව්‍යාපාරයේ නව මානයන් කරා ගමන් කිරීමට අපේක්ෂා කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඒ වෙනුවෙන් දැනටමත් මුල්ගල තබා අවසන්ය.

දුරකථනයෙන් ලොතරැයි ප‍්‍රතිඵල දැනගැනීමේ ස්වයංක‍්‍රීය හඩ සම්බන්ධතා සේවාව (IVR) හා ලොතරැයි ප‍්‍රතිඵල සහිත SMS පණිවිඩ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමේ පහසුකම් ජනතාවට ලබා දීම ඒ උත්සාහයන්ගේ ප‍්‍රතිඵලයන්ය.

 

මෙම සියලු සංවර්ධනයන් සමගින් ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම මුඛ්‍ය අභිමතාර්ථයන් වූ ජනාධිපති අරමුදලට හා මහපොළ භාරකාර අරමුදලට මුදල් සැපයීම මේ වන විට කිසිදු ප‍්‍රමාදයකින් තොරව නිරන්තරයෙන් සිදුකරයි. එහිදී 1983 සිට 2018 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදල සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලබා දුන් නොමසුරු දායකත්වය රුපියල් 2 ,132 ,089,178 කි. ආරම්භයේ සිට මේ දක්වා සරසවි දූ පුතුන්ගේ උසස් අධ්‍යාපනය උදෙසා ලබාදුන් මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රමාණය 2 89 137 කි. ලක්ෂ කෝටි ගණනින් මැනිය නොහැකි අසමසම මනුෂ්‍යත්වකින් අමිල දායකත්වයක් ශි‍්‍ර ලාංකිකයින් වෙත දායාද කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පුංචි රුපියල් විස්සක් තුළින්  කරන්නාවූ ජාතික මෙහෙවර අතිවිශිෂ්ටය.

මෙම විපුල දායකත්වයන්ට අමතරව සංවර්ධන ලොතරැයි අලෙවි ජාලය සමග අත්වැල් බැද සිටින බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් 88 දෙනෙක්ට සහ 2500 කට අධික අලෙවි නියෝජිතයින්ට හා ඒ යටතෙහි සිටින විසිදහසකට අධික අලෙවි සහයකයින්ට රැකියා නිර්මාණය කර දුන් තෝතැන්න සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි. ඔවුන් සියලු දෙනා මත යැපෙන ලක්ෂයකට අධික පිරිසක් අභිමානයෙන් ජීවිතය ගෙන යන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශක්තියෙනි.  ආයතනික වශයෙන් සේවයේ නියුතු තුන් සියයකට අධික ප‍්‍රමාණයක් සදහාද ජීවන වෘත්තීන් නිර්මාණය කර දුන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි මිළදී ගන්නන්ගේ සේම සේවක පිරිසගේද ජීවිත වාසනාවන්ත කරන්නේය. විශේෂයෙන්ම තවත් ආයතනයකින් රැකියාවක් ලබා නොදෙන විවිධ ශාරීරික දුර්වලතාවයන් සහිත 550 කට ආසන්න පිරිසකට තවත් කෙනෙක්ට අත නොපා ජීවත්වීමට දිරිය දෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිසා බොහෝ ජීවිත අද දවසේ කදුළු අතරින් සිනාසෙන්නේය.

මෙම  ප‍්‍රධාන ධාරාවේ ජාතික දායකත්වයන්ට අමතරව දේශීය ආදායම් බදු ගෙවීම සහ මෙරට දස දෙස කි‍්‍රයාත්මක වන නොයෙක් ආගමික, අධ්‍යාපනික, සමාජ, සංස්කෘතික වැඩසටහන් සදහාද සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම සුහද දායකත්වය පිරිනමනු ලබයි.

සංවර්ධන වෙමින් පවතින ශ‍්‍රි ලංකාවට සංවර්ධිත රාජ්‍යයක බලාපොරොත්තුව වෙනුවෙන් රාජ්‍ය ආයතනයක් ලෙස ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය පොළවට බරක් නැති මිනිසුන් තනන්නේය. මෙරට පවතින මානව හා භෞතික සම්පත් යොදා ගනිමින් ජාතික ආර්ථිකය සමාජීය සංවර්ධනය හා සංස්කෘතික ප‍්‍රගමනය ඇති කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදලට මනුෂ්‍යත්වය දෙවැනි නොකළ ආයතනයක් වන්නේය.