සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ඔබේ ජීවිතය දිනවන අපේ නියමුවෝ

10-July-2019

අවුරුදු හතේදී පොල්පිත්තක බුලත් විට ගසාගෙන ගොස් විකුණපු කෙනෙක් අද කොයි වගේ තැනක ඉන්න පුළුවන්ද? අද අපි ඔබට සමීප කරන මේ ජීවිත කතාව සංවර්ධන ලොතරැයි මණ්ඩලයයේ ශක්තියෙන්, දෛවයේ සරදම් වාසනාවකට පෙරලා ගත් අපේ කාලයේ උත්සාහවන්තයෙක් ගැනයි.

ජීවිතේ හය හතර තේරුම් ගන්න ඉස්කෝලෙකට යන්න ඕන වයසෙදි බුලත්විට විකුණපු ඒ පොඩි කොල්ලා අද නම් වයස අවුරුදු හැත්තෑ දෙකකින් මුහුකුරා ගිය සද්දන්ත පුරුෂයෙක්. නමුත් ඔහු අද බුලත් විට වෙළෙන්දෙක් නම් නොවේ. ලංකාවේ වැඩිම ලොතරැයි අලෙවියක් සිදුකරන කෝටිපති ව්‍යාපාරිකයෙක්. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවිය වෙනුවෙන් ඉමහත් දායකත්වයක් සපයමින් මහනුවර දිස්ති‍්‍රක්කයේ දිගන පදිංචි නම කියූ සැනින් කවුරුත් හදුනන ඔහු ඇලඩින් පෙරේරාය. අප අසා ඇති චුල්ල සෙට්ටි ජාතකයේ මී කුණක් විකුණා මහා ධන කුවේරයෙක් වූ සිටුවරයාගේ කතාන්දරය නැවතත් සිහිපත් කරන ඇලඩින් පෙරේරාගේ ජීවිත කතාවද කාටත් පරමාදර්ශයන් සපයන්නකි.සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඇලඩින් පෙරේරා කෝටිපතියෙක් බවට පත් කළේ ලොතරැයි දිනුම් ඇදීමකින් නොව අන්අයට දිනුම් උරුම කරන අලෙවි නියෝජිත ධූරයකින්ය. ලොතරැයි ව්‍යාපාරය යනු ඇලඩින් නැමැති පෙටිටි කඩකාරයා කෝටිපතියෙක් බවට පත් කළාවූ හැරවුම් ලක්ෂයයි.

බුලත් විට විකුණමින් ජීවිත ගමන ආරම්භ කළ ඇලඩින් පෙරේරා යනු එක රැයින් ජීවිතේ ඉරණම වෙනස් කරගත් අයෙක් නොව කප්පරක් අභියෝග මැද ජීවිතේ ක්ෂේම භූමිය සොයා පියමැන්න අයෙකි. තැන තැන ගොස් බුලත් විට විකුණා, පසුව කුඩා පෙට්ටි කඩයක් ආරම්භ කරන ඇලඩින්ට අහම්බෙන් මෙන් සෙයියත් අලීගෙන් ලොතරැයි පහක් ලැබුණි. ඇලඩින්ගේ දෑතට වාසනාවේ පළමු වරම හිමිවන්නේ ඒ ආකාරයෙන්ය.සෙයියත් අලීට විකුණා ගත නොහැකිව ඉතිරිවන ලොතරැයි තම පෙට්ටි කඩයේ තබා විකීණීම ඇලඩින් විසින් පුරැද්දක් වශයෙන් කරගෙන ගියේ ලොතරැයි නිසා සතෙන් සතේ ඉතිරි කර ගන්නට ඇති හැකියාව වර්ධනය වූ නිසාවෙන්ය. පසුව සෙයියත් අලීගේ ලොතරැයි ඒජන්සිය කර ගෙන යාමට ඇලඩින්ට භාර කරන අතර ඇලඩින් ලොතරැයි ව්‍යාපාරයේ බර කරට ගන්නේ එතැන් සිටය.

සතියට දෙවරක් කොළඹ ගොස් ටිකට් ගෙනවිත් විකීණීම ආරම්භ කළ ඇලඩින් විවිධ බාධක මැද ලොතරැයි අලෙවි වැඩි කරගැනීමට උත්සාහ කළේය. ලොතරැයි ප‍්‍රචාරක රථ හෝ ශබ්ද විකාශන යන්ත‍්‍රයන් නොතිබුණ එම යුගයේ බයිසිකලේ නැග කටින්ම ප‍්‍රචාරණයන් සිදුකරමින් සැතපුම්  45ක් පමණ දිනකට ගමන් කර ඇත. කටේ ලේ රහ එන තුරු කෑ ගසිමින් ලොතරැයි අලෙවිය වැඩිකර ගැනීමට කටයුතු කළ ඇලඩින්ට නැවතත් ජීවිතය අභියෝග කරන්නේ නොසිතූ ආකාරයෙන්ය. ලොතරැයි ව්‍යාපාරය මෙන්ම ඔහු කරගෙන ගිය පළතුරු වෙළදාමද නවතා දැමීමට ඔහුට සිදුවන්නේ නගර සභාවෙන් ඔහුගේ පෙට්ටි කඩය ඉවත් කිරීම නිසාය.

දුක් කම්කටොළු, අභියෝග අලුත් දෙයක් නොවූ ඇලඩින් නැවතත් තැනින් නැනට ගොස් පළතුරු විකිණීම සිදුකළේය. නමුත් හදිසියේම ගංවතුරකට හසුව ගම්බිම් හැරදා රජවැල්ලට පැමිණෙන ඇලඩින් නැවතත් පොඩි කඩයක් ආරම්භ කරන්නේය. නමුත් එයද සාර්ථක නොවූ තැන දිගන නගරයේ එළවළු කඩයක්  ආරම්භ කළ ඇලඩින්ට නැවතත් වාසනාවේ මග කියමින් පායන හිරැ මෙන් විශ්වාස ශනිදා වාසනාව ලොතරැයිපත්  20ක් අතට ලැබෙන්නේ ඔහුට උරැම නියම වෘත්තිය ලොතරැයි වෙළදාමම බව ඉගි කරමිනි. සියල්ල අසාර්ථක වුවත් ලොතරැයි වෙළදාමෙන් අසාර්ථක නොවූ ඇලඩින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශනිදා වාසනාවෙන් ආරම්භ කළ ලොතරැයි ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවට පත් කර ගත්තේය. ඔහු 1989 දී  ප‍්‍රථමයෙන්ම ඔහුගේ නමට ඒජන්සිය ලබා ගන්නේද සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්ය.

අවසානයේ ලංකාවේ වැඩිම ජයග‍්‍රාහකයින් පිරිසක් බිහිකළ අලෙවි නියෝජිතයින් අතරටත් ලංකාවේ වැඩිම අලෙවියක් සිදුකරන අලෙවි නියෝජිතවරයා ලෙසත් ඉතිහාසගත වන ඇලඩින් පෙරේරා අද කෝටිපති ලොතරැයි ව්‍යාපාරිකයෙකි.අපමණ බාධක දුක් කම්කටොලු මෙන්ම මරණ තර්ජන අභියස පවා නොසැලී මනුෂ්‍යත්වයෙන් කටයුතු කළ ඇලඩින් පෙරේරා අලෙවි සහයකයින් 143 දෙනෙක්ට පියෙක් තරම් සමීප ව්‍යාපාරිකයෙකි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩිම අලෙවියක් සිදුකරමින් එදා මෙදා තුර නොමැකෙන නාමයක් රැන්දූ අලෙඩින් සිල්වා මහතාට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය හෘදයාංගම ආචාරය පුදකර සිටින්නේ මේ ආකාරයෙනි.



විශේෂාංග පුවත්