සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය 38 වන සංවත්සරය සමරයි.

20-January-2021

එදාමෙදා තුර ඔබේ ජීවිතයේ වාසනාවේ විශ්වාසය වූ “ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය” මෙම ජනවාරි 19 වන දිනට සිය 38 වන සංවත්සරය සමරනු ලබයි. ශ්‍රි ලාංකික ඔබ වෙනුවෙන්ම වූ  උත්තරීතර අරමුණු පෙරදැරිව 1983 වර්ෂයේ ජනවාරි 19 දින සමාරම්භ කරනු ලැබූ සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය එතැන්  සිට අද දක්වා පසුකලාවූ වසර 38ක කාලය ඇතුළත පැමිණි සංදිස්ථානයන් සේම බිහිකළාවූ ජයග‍්‍රාහකයින් අපමණය. ඔබ ලොතරැයියක් වෙනුවෙන් වියදම් කරන්නාවූ රුපියල් විස්ස නැවතත් ඔබ අතරටම ගෙන එන්නාවූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙරට බොහෝ ජීවිත එක් රැයින් වාසනාවන්ත කරන අතරම රට වෙනුවෙන් සෞඛ්‍යමය සහ අධ්‍යාපනික මෙහෙවරක යෙදෙන්නේය.

පරමාර්ථකාමී අරමුණු පෙරදැරිව ඉදිරියට ආ සංවර්ධන ලොතරැයි මණ්ඩලය 1983 සිට 2020 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදල වෙත ලබා දුන් නොමසුරු දායකත්වය රුපියල් 30,209,462,389.00කි. හෘද සැත්කම් , වකුගඩු බද්ධ කිරීම් ඇතුළු නොයෙක් අසාධ්‍ය රෝගී තත්ත්වයන් සදහා මුල්‍ය දායකත්වය ලබාදෙන අතරවාරයේම මහපොළ ශිෂ්‍යත්වය වෙනුවෙන්ද මුදල් දායකකිරීම ජනාධිපති අරමුදල හරහා සිදුකරනු ලබයි. ආරම්භයේ සිට මේ දක්වා සරසවි දූ පුතුන්ගේ උසස් අධ්‍යාපනය උදෙසා ලබාදුන් මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රමාණය තුන්ලක්ෂ විසිපන් දහස ඉක්මවයි. පසුගිය 2020 වර්ෂයේදී පමණක් ජනාධිපති අරමුදල වෙනුවෙන් ලබාදුන් දායකත්වය දළ වශයෙන් රුපියල් බිලියන 2.29ක් පමණ වේ. එසේම බිහිකළාවූ කෝටිපති, ලක්ෂපති ජයග්‍රාහකයින්ගේ ප්‍රමාණය අති විශාලය.2020 වර්ෂයේ පමණක් බිහිවූ ජයග්‍රාහකයින් අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදල්වල වටිනාකම රු.          7,927,745,313.00 කි.

ඒ සියල්ල වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ශක්තියක් වන්නේ ‘ශනිදා ’, ‘ලග්න වාසනාව’,‘අදකෝටිපති’ ‘සුපර් බෝල්’ , ‘සංවර්ධන වාසනාව’,  ‘ජයෝදා’, ‘කෝටිපති කප්රුක’,  ‘සසිරි’ සහ  ක්ෂණික ලොතරැයිපත්ය.

වර්තමානය සමගින් යාවත්කාලීන වෙමින් අනාගතයට පියනගන සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි ව්‍යපාරයෙහි උන්නතිය වෙනුවෙනුත් ලොතරැයි පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙනුත් නවීන තාක්ෂණික ක්‍රමෝපායන් යොදාගනිමින් සිදුකළාවූ වෙනස්කම් රුසකි. “DLB Sweep App” ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගනී. ලොතරැයි මිළදී ගැනීම ,ලොතරැයි ප්‍රතිඵල මෙන්ම දිනුම් ආදී සියල්ල ජංගම දුරකතනය හරහා සිදුකර ගැනීමට එමගින් පාරිභෝගිකයින්ට හැකියාව ලැබී ඇත. SMS Lottery ආරම්භ කිරීමද සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලද ජයග්‍රහණයකි.

ආසියාවේ ප්‍රථම ඩිජිටල් ලොතරැයිය වන “සසිරි” ලොතරැයිය හදුන්වා දීමද වසර 38ක සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ සංදිස්ථානයකි.

තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය තුළින් වාසනාව උදාකර ගන්නේ එය මිළදී ගන්නා පරිභෝගිකයන් පමණක්ම නොවන්නේය. සංවර්ධන ලොතරැයි අලෙවි ජාලය සමග අත්වැල් බැද සිටින බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් 89 දෙනෙක්ට , 2500 කට අධික අලෙවි නියෝජිතයින්ට හා ඒ යටතෙහි සිටින විසිදහසකට අධික අලෙවි සහයකයින්ට රැකියා නිර්මාණය කර දුන් තෝතැන්න සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.

පසුකලාවූ කාලය පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් සිදුකළ මෙහෙවර ඉමහත්ය. අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ ප්‍රමුඛ ඉල්ලීමක් වූ කොමිස් මුදල වැඩිකිරීම පිළිබද සළකා බලා රු.3.50ක කොමිස් මුදල 3.75 දක්වා වැඩි කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සිදුකරන ලදී. 2018 හා 2019 යන වර්ෂයන්හි සහනදායි මිලට නවතම ලොතරැයි කුටි දිවයිනම ආවරණය වන පරිදි බෙදා හැරීමත්, අබලන් වූ අලෙවි කුටි අලුතින් සන්නාම කිරීමත්, අලෙවි කුටිය අලුත්වැඩියා කරගැනීම සදහා රු.20000 ක මුදලක් ලබාදීමත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලබාදෙන ලදී. 2021 වර්ෂයේදීද එය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට මණ්ඩලය බලාපොරොත්තු වන්නේය.

ජීවිතයේ නොවැළැක්විය හැකි අභියෝගයන්ට පවා නොපැකිලිව මුහුණ දෙන දිරිය මිනිසුන් විශාල පිරිසක් අලෙවි සහායකයන් ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව සිටින අතර ඔවුන් වෙනුවෙන්ද සංවර්ධන ලොතරැයි මණ්ඩලය විශාල මෙහෙයක් සිදුකර ඇත. විශේෂයෙන්ම නොයෙක් විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහායකයින් සදහා තුන්රෝද රථ (ට්‍රයිසිකල්) නොමිලේ ලබාදීමද සිදුකරන ලදී. තවද අව් වැසි නොතකා ජීවන අරගලයෙහි යෙදෙමින් ලොතරැයි අලෙවියෙහි නිරතවන අලෙවි නියෝජිත අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි වෛද්‍ය කදවුරු ක්‍රියාත්මක කිරීමත් අලෙවි සහායකයින් වෙනුවෙන් නිල ඇදුම් ලබාදීමත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සිදුකරන ලදී.

මෙරට සිසු පරපුර වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්වයට දායක වන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ විශ්ව විද්‍යාල සදහා තේරීපත්වන දූදරුවන් සදහාද වසර 04ක් පුරාම මාස්පතා රු.1500 ක් බැගින් ශිෂ්‍යත්ව ලබාදීමද වාර්ෂිකවම සිදුකරන්නේය.තවද අලෙවි නියෝජිත හා අලෙවි සහායක මහත්ම මහත්මින්ගේ අවමංගල්‍ය අවස්ථාවකදී මෙන්ම රෝහල් ගතවීමකදීද  මුල්‍යම වශයෙන් අනුග්‍රාහකත්වය දක්වන සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඒ සියල්ලම සිදුකරන්නේ ඔවුන්ගේ ළගම හිතවතා ලෙස ඉදිරිපත් වෙමිනි.

පාරිභෝගික ඔබගේ හිතවත්කම තරම් වටිනා වත්මක් සංවර්ධන ලොතරැයි මණ්ඩයට නොමැති බැවින් පසුගිය වසර 38 ක කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කෙරෙහි ඔබ තැබූ විශ්වාසය ඒ අයුරින්ම ඉදිරියටත් සුරකින බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිවේදනය කර සිටී. එසේම සංවර්ධන ලොතරැයිය සමග අත්වැල් බැද‍ සිටින දිස්ත්‍රික් බෙදාහැරීමේ නියෝජිත, අලෙවි නියෝජිත හා කාර්ය මණ්ඩලය,රේඛිය අමාත්‍යංශය ලෙස මුදල් අමාත්‍යංශය ලබාදෙන සහයෝගය  වෙනුවෙන් 38 වන සංවත්සරය සමරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම කෘතවේදීත්වය පිරිනමයි.



විශේෂාංග පුවත්