සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ඔබත් තුන් ලක්ෂයක් වූ මහපොළ ශිෂ්‍යත්වලාභීන් අතරින් එක් අයෙක්ද ?

22-August-2019

උසස් අධ්‍යාපනය තුළ ඔබ ලැබූ  “මහපොළ ශිෂ්‍යත්ව” වරප්‍රසාදය මෙරට සිසු පරපුරට හිමිකර දෙන්නට කටයුතු කරන්නාවූ ඒ සැබෑ මූල්‍ය දායකයා කවුරුන්ද යන්න ඔබ දන්නවාද?

බොහෝ විට ඔබ නොදන්නවා විය හැකිය.

අප අපට හිමි අයිතිවාසිකම් ගැන උනන්දු වුවත් අපට යුතුකම් ඉටුකරන්නන්  පිළිබදව දක්වන උනන්දුව අල්ප නිසාවෙන්ම අදටත් බහුතරයක් මහපොළ ශිෂ්‍යත්ව ලාභීන් තමන්ට ශක්තියක් වූ ඒ මහපොළ ශිෂ්‍යත්වය වෙනුවෙන් උර දෙන්නේ කවුරුන්ද යන වග නොදන්නේය.

1983 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා 306,637 ක් වූ මහපොළ ශිෂ්‍යත්ව ප්‍රමාණයක් මෙරට උගත් බුද්ධිමත් තරුණ ප්‍රජාව වෙත පිරිනමන්නට රජය වෙත අති විශාල ධන සම්බාරයක් ලබාදුන් අදටත් එකී කර්තව්‍යයෙහි යෙදෙමින් නිහඩව යුග මෙහෙවරක යෙදෙන්නේ අන් කවරෙකුත් නොව ඔබේ ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි” .

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ආරම්භ වූයේ කෙසේද?

මෙරට උසස් අධ්‍යාපනය සදහා සුදුසුකම් ලද අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතා සහිත  දූ දරුවන් වෙනුවෙන් පරපුරෙන් පරපුරට නොනැසී ආරක්ෂිතව හා අඛණ්ඩව ක්‍රියාත්මක වන මහපොළ ශිෂ්‍යත්වය නම් ඒ උත්තරීතර දායාදයෙහි නිර්මාතෘවරයා වන්නේ දිවංගත ගරු ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයාය.

1980 වසරෙහි වෙළද හා නාවික ඇමතිවරයා ලෙස එතුමා විසින් මහපොළ සංකල්පය ගෙන ආ අතර ආරම්භයේදී ඒ සදහා මුදල් උපයා ගනු ලැබූයේ  මහපොළ වෙළද ප්‍රදර්ශනයන් සහ මහපොළ ලොතරැයි අලෙවිය තුළින්ය. මුල්කාලීනව එම ආදායම් ග්‍රාමීය පාසල් නගාසිටුවීම සදහා යොදා ගත් අතර කාලානුරූපීව එම මුදල් ජාතික මට්ටමින් ප්‍රයෝජනයට ගතහැකි තත්ත්වයකට ගෙන ආ යුතු බව එතුමාගේ අදහස විය.ඒ අනුව මූල්‍යමය අසීරුතා සහිත විශ්ව විද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යපන ආයතන තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශක්තියක් වන ශිෂ්‍යත්ව ක්‍රමයක් පිහිටුවීමට එතුමා කටයුතු කලේය.

දූරදර්ශී වූත් සැබෑ මානව හිතවාදියකු වූත් ලලිත් ඇතුලත්මුදලි මහතාගේ එකී උත්කෘෂ්ට මනුෂ්‍යත්වයේ ප්‍රතිඵලයක් ලෙස මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවන ලද අතර එය 1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත මගින් විධිමත්ව  පරිපාලනය කළ හැකි නීතිමය පරිසරයක් සහිතව ස්ථාපිත කරනු ලැබීය.

එතෙක් සල්පිල් හා වෙළද ප්‍රදර්ශනයන් මෙන්ම මහපොළ ලොතරැයි අලෙවියෙන් එම මුල්‍ය පදනම සකස් කර ගත්තද  1983 වර්ෂයේ ජනාධිපති අරමුදල සහ මහපොළ භාරකාර අරමුදල මගින් රුපියල් මිලියන 2.2 බැගින් ආයෝජනය කර  සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආරම්භ කිරීමත් සමග මහපොළ අරමුදලේ මුල්‍ය පදනම සදහා දීර්ඝකාලීන වූ විශ්වාසනීය ස්ථාවරත්වයක් හිමිවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය පිහිටුවීම සදහා ජනාධිපති අරමුදල හා මහපොළ අරමුදල ලබාදුන් මූල්‍ය අත්තිවාරම හේතුවෙන් එහි ලාභාංශයන් සෘජුවම ජනාධිපති අරමුදලට දායක කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ව්‍යවස්ථාපිත කාර්යයකි. එම මුදල් තුළින් 50% ක් මහපොළ භාරකාර අරමුදලට බැර කිරීම ජනාධිපති අරමුදල හරහා සිදුකරනු ලබයි.

ඒ අනුව 1983 සිට 2019 වර්ෂය දක්වා ජනාධිපති අරමුදල වෙත සංවර්ධන ලොතරැයි මණ්ඩලය රුපියල් කෝටි 2588  මුදලක් පිරිනමා ඇත.

එම මුදලින් 50% ක් මහපොළ භාරකාර අරමුදල වෙත පිරිනැමීම ජනාධිපති අරමුදල හරහා සිදුකරනු ලබයි. මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වෙත මූල්‍ය දායකත්වය ලබාදෙන රජයේ එකම ආයතනය සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.

මහපොළ ශිෂ්‍යත්ව වරප්‍රසාදයේ හිමිකරුවෝ කවුරුන්ද?

මහපොළ ශිෂ්‍යත්වය කිවූ සැණින් අප මතකයට නැගෙන්නේ විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්ය. බොහෝ දෙනාගේ මතකයෙහි රැදී ඇත්තේද මහපොළ ශිෂ්‍යාධාරය හිමි වන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අයට පමණක් වන බවයි.

නමුත් මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට අයත් සියලුම විශ්ව විද්‍යාල හා මණ්ඩපයන් හැරුණු කොට තවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන්නාවූ උසස් අධ්‍යාපන ආයතන ගණනාවක අධ්‍යාපනය ලබන දූ දරුවන් සදහා මහපොළ ශිෂ්‍යත්වය පිරිනමනු ලබයි.

කොළඹ විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පාසල, ශ්‍රී පාලි මණ්ඩපය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, වව්නියා මණ්ඩපය, රුහුණු විශ්ව විද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලය ,ත්‍රිකුණාමලය මණ්ඩපය, අග්නිදිග විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, සබරගමු විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය, දේශීය වෛද්‍ය ආයතනය, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ,ස්වාමි විපුලානන්ද, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය යන විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය හදාරන ඔබටත්, අධ්‍යපනය හදාරා අවසන් කළ ඔබටත් මහපොළ ශිෂ්‍යත්වය වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.

මහපොළ ශිෂ්‍යත්වය ලබාදෙන සෙසු උසස් අධ්‍යාපන ආයතන මොනවාද?

ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය

ශ්‍රි ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය

නීති විද්‍යාලය

තාක්ෂණ ආයතනය (NDT)

ජාතික සමාජ සංවර්ධන ආයතනය

ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය

ශ්‍රි ලංකා උසස් තාක්ෂණය අධ්‍යාපන ආයතන

ඉහත උසස් අධ්‍යාපනය ආයතනයන් යටතේ අධ්‍යාපනය ලැබූ ඔබත්, අධ්‍යාපනය ලබන ඔබටත් මාසිකව ලබා ගන්නා මහපොළ ශිෂ්‍යත්වය සදහා මූල්‍ය දායත්කවය ලබාදෙන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.

ගෙන්දගම් පොළවෙහි රළු පරළු බව හැදින ඒ බිම මත පය ගසා ජීවත් වන්නට අපට ඇති එකම සවිය අධ්‍යාපනය වන බැවින් එය අතරමග සුණු විසුණු කර නොගෙන හිණිපෙත්තටම යන්නට ආශිර්වාදයක් වන මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වෙත තම උපරිමය සංවර්ධන ලොතරැයි මණ්ඩලය දායක කරන්නේ ඔබ වැනිම මිනිසුන් මිළදී ගන්නා ලොතරැයියකින් ලැබෙන රුපියල් විස්සකින්ය.

මහපොළින් ඉගෙන ගත් ඔබ අද සමාජයේ යෙහෙන් වැජඹෙන ඉහළ තානාන්තර දරන ධනවතෙක් විය හැකිය. ලොතරැයි කුටියක් හෝ ලොතරැයි ලෑල්ලක් අතට ගත්ත ලොතරැයි අලෙවි සහයකයෙක් ඔබ ඇසට දැක නැති විය හැකියි. නොඑසේනම් මතක ඇති කාලයක ඔබ ලොතරැයියක් මිළදී ගෙන නැති විය හැකියි. නමුත් ඔබට ඔබේ මුල අමතක කළ නොහැකිය. ඔබ මහපොළින් ඉගෙන ගත් අයෙක් බව ඔබට කිසි දිනක අමතක කළ නොහැකිය. ඔබ වගේම අදත් මතුවටත් තවත් දස දහස් ගණනක් ජීවිතයේ කිරුළු පළදිනන්නට මහපොළ ශිෂ්‍යත්වයෙන් අත්වැලක් ලබා ගනු ඇත.

එදා මහපොළින් ඉගෙන ගත් ඔබට හෙට දවසේ ඔබේ දරුවාට මහපොළ ශිෂ්‍යත්වයක අවශ්‍යතාවයක් නැති විය හැකිය. නමුත් බහුතරයක් වන මෙරට අඩු ආදායම් ලාභී පවුල් වල සාමාන්‍ය දූදරුවන් වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්වය අදත් හෙටත් මතුවටත් පැවතිය යුතුය. ලලිත් ඇතුලත්මුදලි නම් ඒ කාරුණික මිනිසා රෝපණය කර පණ නංවා දුන් මහපොළ ශිෂ්‍යත්ව අරමුදල දිනෙන් දිනම තර කළ හැක්කේ ඔබේ දායකත්වයෙන්ය. ඔබේ මනුෂ්‍යත්වයෙන් ලෝබ නැතිව වියදම් කරන පුංචි රුපියල් විස්ස හෙට දවස වෙනුවෙන් සිය දහස් ගණනින් ගුණාකාරව මහපොළට බැරවනු ඇත.

අවිනිශ්චිත වූ අනාගතය තුළ ස්ථාවර වූ ශක්තිමත් වූ මහපොළ භාරකාර අරමුදල මතුවට කුමන බාධක පැමිණියද ඔබේ දූ දරුවන්ට දිරිය ශක්තියක් වනු ඇත. මෙකී යථාර්තය හදුනා ගෙන එයින්  උදාවන අනාගතය දැක  පැහැදුණු සිතින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පතක් මිළදී ගැනීමට සිත යොමු කරන කල සංවර්ධන ලොතරැයි මණ්ඩලයද ඒ වෙනුවෙන් උපරිමය ලබා දෙනු ඇත.

ඔබ කළගුණ සිහිපත් කර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිළදී ගන්නා කල හෙට දවසේ සංවර්ධන ලොතරුයි මණ්ඩලය හරහා ජනාධිපති අරමුදලට බැර වන මුදල තව තවත් වර්ධන වනු ඇත. එවිට ජනාධිපති අරමුදල හරහා  මහපොළ භාරකාර අරමුදල ලබා දෙන්නාවූ මුල්‍ය ප්‍රතිපාදනද ඉහළ ගොස් එය තව තවත් ශක්තිමත් වනු ඇත.

මහපොළ ශිෂ්‍යත්වයේ කතාව මෙයයි, ඒ වෙනුවෙන් යුතුකම් ඉටුකළ යුත්තේද ඔබයි !  

 

සටහන - අචලා පියරත්න



විශේෂාංග පුවත්