සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

රටට බෙදූ වාසනාවෙන් රටක් දිනූ ජීවිත

25-March-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලය කියන්නේ නව රැකියා අවස්ථාවන් උදාකරන සැගවුණු ඉල්ලමක්.

අවිස්සාවේල්ලේ එන්.ජී සිරිසේන සහ මොණරාගල බෙනට් ද සිල්වා කියන්නෙත්  අන්න ඒ ඉල්ලමෙන් ජීවිතේ සාර්ථක කර ගත්ත දැවැන්ත දිස්ත‍්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන් දෙදෙ‍නෙක්.

කොළඹ දිස්ත‍්‍රික් බෙදා හැරීමේ  අලෙවි නියෝජිත සිරිසේන මහත්තයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආරම්භයේ සිටම අලෙවියට සම්බන්ධ වුණ අදටත් කීර්තිමත් බෙදාහැරීමේ අලෙවි නියෝජිතවරයෙක්.

“මම සංවර්ධන ලොතරැයියත් එක්ක එකතු වුණේ 1983, මුලින්ම මං ගත්තේ දවසකට ලොතරැයි පෙට්ටි තුනයි. ඒ දවස්වල හිටිය සභාපතිතුමා කීවා තවත් පෙට්ටි පහක් ගන්න කියලා.  ඒත් පෙට්ටි අටක්  ගන්න වත්කමක් මට තිබුණේ නෑ. නමුත් විශ්වාසෙට මට ණයට තවත් පෙට්ටි පහක් දෙන්න සභාපතිතුමා කටයුතු කළා.පෙට්ටි අටක් කියන්නේ ලොකු මුදලක්. ඒ හින්දා මමත් දවසින් දවස දියුණු වුණා. අද කොළඹ දිස්ත‍්‍රික්කයේම බෙදාහැරීමේ අලෙවි නියෝජිතයෙක් වුණාට මුලින්ම මම පයින් ගෙන් ගෙට ගිහිල්ලයි ලොතරැයි වික්කේ. හැබැයි දවසෙන් දවස මගේ ලොතරැයි අලෙවිය ඉහළ යද්දී මට ලොතරැයි විකුණන ගමන් බෙදා හැරීමේ වැඩ කරන්න අමාරු වුණා. ඒ හින්දා මම තව අලෙවි නියෝජිතවරු ටිකක් බදවා ගත්තා‍.වැස්සට තෙමිලා අව්වට කර වෙලා තමා මේ ව්‍යාපාරය මේ තැනට අරගෙන ආවේ.ලොතරැයියට තරම් මං මගේ ජීවිතේ කිසිම දේකට කැපවෙලා නෑ. හැබැයි ඒ කැපවීමට මට ප‍්‍රතිපල ලැබුණා. මං අදටත් ජීවත් වෙන්නේ මං ගොඩනගා ගත්ත ලොතරැයි ව්‍යාපාරයෙන් ”

ඔහු පහ වසරට පමණක් පාසල් අධ්‍යාපනය ලැබු නමුත් මුදල් ඉපයීමේ කලාව තුළ අතිවිශිෂ්ටයකි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවිය වැඩි කළා යැයි සදහන් කළ සෑම අවස්ථාවකම ඔහුගේ දෑස් කදුළු වලින් තෙත් විය. සාර්ථක ව්‍යාපාරිකයෙක් වගේම සාර්ථක පවුල් ජීවිතයක්  හිමි සැමියෙක්, පියෙක් විදියට තම දරැ මුණුපුරන්ටත් තමන් යටතේ සිටින පනස් හයදෙනෙක් වූ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ටත් යුතුකම් ඉටුකරමින් අදටත් ක‍්‍රියාකාරී බෙදාහැරීමේ නියෝජිතවරයෙක් වන එම් ජී සිරිසේන මහතාගේ ජීවිතය සියල්ලන්ටම ආදර්ශවත් වූවකි.

ඔහු මෙන්ම මොණරාගල දිස්ත‍්‍රික් බෙදා හැරීමේ අලෙවි නියෝජිත පී.එච්.බෙනට් ද සිල්වා මහතා කියන්නෙත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආරම්භක අලෙවි නියෝජිතවරයෙක්.ඔහුත් අද සාර්ථක ව්‍යාපාරිකයෙක්. මොහුගේ විශේෂත්වය වන්නේ ඔහු බෙදාහරින්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් පමණක් වීමයි. ඒ මහපොළ ශිෂ්‍යත්වයට හා ජනාධිපති අරමුදලට සෘජු දායකත්වය සපයන සංවර්ධන ලොතරැයි මණ්ඩලයට තම උපරිමය ලබා දීම වෙනුවෙනුයි.

“මම ඉපදුණේ කල්මුනේ.අපිට කල්මුනේ වගේම පොතුවිල් වලත් ලොකු ව්‍යාපාර තිබුණා. මට එතකොට අවුරැදු විසි පහක් විතර ඇති. ඒ කාලේ මාත් තාත්තා එක්ක ව්‍යාපාර වලට සම්බන්ධ වෙලයි හිටියේ. ඒත් යුධ කලබල නිසා ඒ හැම ව්‍යාපාරයක්ම අපිට නැති වුණා. ඒ හින්දා හැමදේම අතහැරලා කොළඹට එන්න වුණේ හිස් අතින්. එහෙම කොළඹට ආපු ගමනෙදි තමයි මම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආරම්භක අවස්ථාවේදීම සම්බන්ධ වෙන්නෙ. මුලින්ම සම්බන්ධ වුණේ කොල්ලුපිටිය  ප‍්‍රදේශයේ අලෙවි නියෝජිතවරයෙක්  විදියට. ඒ අතරවාරයේදී තමයි මොණරාගල බෙදාහැරීමේ නියෝජිත ධුරයක් ලබා ගන්න සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ආරාධනාවක් ලැබුණේ. මොණරාගල වගේ දුෂ්කර පැත්තකට යන්න ගොඩක් අය කැමති වුණේ නෑ.ඒත් මම ඒ අභියෝගයත් භාරගෙන මොණරාගලට ගිහින් දිස්ත‍්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිතයෙක් විදියට වැඩ ආරම්භ කළා. එදත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මට අත්වැලක් වුණා. අදත් මණ්ඩලයෙන් අපිට විශාල ශක්තියක් ලැබෙනවා. මා යටතේ අලෙවි නියෝජිතවරු හතලිස් පස් දෙනෙක් ඉන්නවා. කෙතරම් දුෂ්කර ප‍්‍රදේශයක් වුණත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවියෙන් අපි ඉදිරියෙන්ම ඉන්නවා. දවසකට සියලුම ටිකට්පත් වර්ගවලින් හයදාහක් වගේ ප‍්‍රමාණයක් අලෙවි කරන තැනට අපි ඇවිත් තියෙනවා. ව්‍යාපාරය වගේම අපේ ජීවිතයත් සාර්ථක වෙලා තියෙනවා.”

මෙරට පැවති සිවිල් යුද්ධයෙන් අතිශය  පීඩාවන්ට මුහුණ දුන් බෙනට් මහතා ඒ සියල්ල අභිබවා සාර්ථකත්වයට පත් වීම සැබෑවටම අගය කල යුත්තකි. යුද්ධයේ අදුරැ සෙවණැලි තුළම තම අනාගතය මියදීමට ඉඩ නොදුන් ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් අලුතින් උපන්නේය.

ජීවිතයට අරමුණක් නැති කලෙක ලොතරැයි අලෙවියෙන් ජීවිතය ගොඩනගා ගත් මොවුන් දෙදෙනාම සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ගෙන දුන් ශක්තිය වෙනුවෙන් අදත් හෙටත් මතුවටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිරන්තර ආදරයට පාත‍්‍රවන බව අප සිහි කරන්නේ හදබැදි ආදරයෙනි.


විශේෂාංග ලිපි